
හතළිස් ඇඳිරියට පෙර නීතිඥවරියක සහ නීතිය පිළිබඳව කථිකාචාර්යවරියක වන කාංචන මාලා ගීකියනගේ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. කවි හතළිස් හයකින් සමන්විත ‘හතළිස් ඇඳිරියට පෙර’ සරසවි ප්‍රකාශයනක් ලෙස එළි දක්වා තිබේ. කෘතිය පිළිබඳව කාංචනමාලා Ceylon Boutique සමඟ කෙටි පිළිසඳරකට එක් වූයේ මෙසේය.
“මොකක්ද මේ හතළිස් ඇඳිරියට පෙර කියන්නේ?” “මේ නම දාන්න එක හේතුවක් තමයි මගේ හතලිස් හයවෙනි උපන් දිනයට සමගාමීව මේ පොත එළි දැක්වීම. අනෙක් අතට මැදිවියට එළඹෙන විට වෛද්‍ය විද්‍යාත්මකව සිදුවන දෑසේ පෙනීම දුර්වල වීම වගේම මැදිවියට එළඹීමට පෙර එනම් මනසට ඇඳිරිය ලැබීමට පෙර නුවණැස පාදාගෙන හිටිය යුතු යැයි කියන අදහස මේ නම තැබීමට හේතු වුණා.”
ජීවිතයේ ලියූ බොහෝ කවි අතරින් මේ කාව්‍ය සංග්‍රහය සඳහා කවි හතළිස් හයක් තෝරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ බව කාංචනමාලා ගීකියනගේ කිවිඳිය පවසයි. “පුංචි කාලෙ ඉඳලා ලියපු කවි එකතුවක් මගේ ලඟ තිබුණා. ඒවා අතරින් විවිධ තේමාවන් නියෝජනය වන පරිදි කවි තෝරා ගත්තා. පොදුවේ රස විඳින්නට බැරි පෞද්ගලික මට්ටමේ කවි එහි දී අතහැරියා. ඊට අමතරව මේ පොතටම විශේෂයෙන් කවි කීපයක් රචනා කළා”. ජීවිතයේ සියුම් තැන් සූක්ෂමව දුටු කිවිඳිය උත්ප්‍රාසය, හාස්‍යය, මෙන්ම ජීවිතයේ යථාර්ථයක් වූ ශෝකය හුවා දක්වන කවි හතළිස් ඇඳිරියට පෙර කෘතියේ අන්තර්ගත වේ .
‘මනුස්සකම්’ ලෙසින් නම් කර ඇති 16 වන කවිය හයිකු කවියක ස්වරූපය ගත් කෙටි කවියකි.
සතපනහත්
ඇහිඳ ගත්
කාලයේ තිබුණු
ලතෙත් බව
තිබුණා නම්
හිත් වල
වටිනවා
දාස් ගුණයක්
හම්බ කළ කෝටියට වඩා
කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන කාංචනමාලා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සහ නීති විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා වසර විස්සක පමණ කාලයක් නීතිඥවරියක වශයෙන් මෙන්ම නීතිය පිළිබඳ කථිකාචාර්යවරියක වශයෙන් ද කටයුතු කරයි. මේ වන විට ඇය KIU සරසවියේ නීති පීඨයේ පීඨාධිපතිනියයි.
කිවිඳියගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් අලලා ලියවුණු ‘අයියා’, ‘නීතිය’, ‘තිස්පස් වසරක රාජ්‍ය සේවයෙන් විශ්‍රාමිකව’ වැනි කවි ද කෘතියෙහි අන්තර්ගත වෙයි.
‘බල්ලාට දාපියවු නීතිය’, ‘නීතිය’ වැනි කවිවලින් කිවිඳිය සියුම් උත්ප්‍රාස රසය මතු කරයි.
“ඉන්ට කූලරයක
පිටුපස අසුන මත
සුවපහසු විලාසයෙන්
සැතපිලා උන්නා
බල්ලෙක්”
එසේම ‘මට ද පෙම්බර මවක ඇත’ වැනි කවි ඔස්සේ ජීවිතයේ සැඟවුණු දුක ඇය ඉස්මතු කරයි.
“දැක දැක ම නොමිනිසුන් රජ කරන නීතිය
තාම මම සිප්හලේ දෙසන්නෙමි නීතිය!”
කාර්යබහුල වෘත්තීය ජීවිතය අතර කවි පබැඳීම ද කාංචනමාලා අතපසු කර නැත. “කෘතිය එළිදැක්වීමට තවත් හේතුවක් උනේ ‘තවම පොතක් ලියන්නේ නැත්තේ මන්දැයි’ අසමින් නිරතුරුවම මා උනන්දු කරවූ මගේ ආදරණීයයන් සියලු දෙනා ම වෙනුවෙන් පොතක් ප්‍රකාශයට පත් කිරීමට තිබූ අවශ්‍යතාවය යි.” ‘දශදක හතරකුත් වසර හයක් පිරෙන ජීවිතයේදී හමුවී ආ ගිය ළඟ රැඳුණු’ ඒ සියලු දෙනාට ම කිවිඳිය කෘතිය අවසානයේදී තුති පුදයි.
හතළිස් ඇඳිරියට පෙර Hathalis Andiryata Pera
හතළිස් ඇඳිරියට පෙර Hathalis Andiryata Pera නීතිඥවරියක සහ නීතිය පිළිබඳව කථිකාචාර්යවරියක වන කාංචන මාලා ගීකියනගේ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. කවි හතළිස් හයකින් සමන්විත ‘හතළිස් ඇඳිරියට පෙර’ සරසවි ප්‍රකාශයනක් ලෙස එළි දක්වා තිබේ
In stock – More available on backorder. Please allow up to 4 weeks for backorder items.